ඉරණවිල ඇමරිකන් හඬ නැවතී ගියද ජනතාව යළි බියකින්


''ඇමරිකන් හඬ ගලවගෙන යද්දි අපි හුඟක් සතුටු වුණා දැන්වත්  සැනසිල්ලේ ඉන්න පුළුවන් කියලා. නමුත් මේ වෙද්දි ආරංචි වෙන තොරතුරු අනුව අපි පදිංචිවෙලා ඉන්න ඉඩම් කෑල්ලවත් නැතිවෙන්න යනවා කියල ආයෙ ආරංචි වෙනවා. අපි නැවතත් අසරණ කරන්න එපා කියලයි බලධාරීන්ට දන්වන්නේ..''
ඇමරිකන් හඬ 1990 දශකයේ මුලින්ම ආරම්භ කිරීමට සැලසුම්කර තිබුණේ පුත්තලම දිස්ත්‍රික්කයේ මහකුඹුක්කඩවල ප්‍රදේශයේය. නමුත් ජනතාව තුළින් මතුවූ විරෝධය හමුවේ එය නැවතී තිබුණි.
ඉන්පසුව 1991 වන විට එය හලාවත ඉරණවිල ප්‍රදේශයට රැගෙන ගියේද මතුවෙමින් තිබූ විරෝධතා හමුවේය. නමුත් 1991 වන විට ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයට එම ඉඩම බදු දී තිබුණි.
DSC00098 copy
මෙම ඉඩම බදු දීමත් සමග ජනතා විරෝධතා මතුවෙමින් තිබුණද එය එතරම්ම වර්ධනය වී නොතිබුණේ මෙම ඉරණවිල පිහිටි අක්කර 499කට ආසන්න ඉඩම කුමන කටයුත්තක් සඳහා ලබා දී ඇත්දැයි ජනතාවට නිසි තොරතුරක් නොලැබීම නිසාවෙනි.
නමුත් ක්‍රමයෙන් මෙම භූමියේ තව කලකින් ඉදිවන කෙටි තරංග සම්ප්‍රේෂණ ගුවන් විදුලි මධ්‍යස්ථානය නිසා ශාරීරික හා පාරිසරික වශයෙන් දැවැන්ත හානි සිදුවීමට ඉඩ ඇති බවට පැතිරී ගිය ආරංචි සමග ජනතාව තුළ දැවැන්ත විරෝධයක් මතුව තිබුණි.
ඇමරිකන් හඬට විරෝධය මතුකරමින් සිටියදී එය මර්දනය කිරීමට ඇමරිකන් හඬ ක්‍රියාත්මක කළ ඇමරිකන් තානාපති කාර්යාලයට සම්බන්ධ පිරිස් විසින් මැර කණ්ඩායම් යොදවා තිබූ බව ඒ අතීතය පිළිබඳව අමතක නොවූ පිරිස් අදද පවසයි.
ඒ සමග ඇමරිකන් හඬට විරෝධය  මතුකරමින් පැවති දැවැන්ත විරෝධතාවයට 1994 වසරේ ඔක්තෝම්බර් 4  දින පොලීසිය එල්ල කළ වෙඩි තැබීමකින් ඉරණවිල පදිංචිව සිටි එස්.ඒ.ඩී බෙනිඩික් ( බෙනට් ) මහතා බරපතළ තුවාල ලබා  හලාවත මූලික රෝහලට ඇතුළත් කරන විටත් මරණයට පත්ව සිටි බව කියයි.
එම වෙඩි තැබීම සිදුවූ ප්‍රදේශය එදින එකම යුද පිටියක තත්වයකට පත්ව තිබූ බව අතීතය අමතක නොවූ පිරිස් පවසයි. මහා සංඝරත්නය, කතෝලික පියතුමන්ලා ඇතුළු ආගමික පූජක ප්‍රසාදීන් සමග විශාල පිරිසක් ඉරණවිලට විරෝධය පාන විටත් එවකට සිටි දේශපාලන බලධාරින් තුට්ටුවකට මායිම් නොකළ බව කියයි. සැබවින්ම ඉරණවිල කෙටි තරංග සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය ආරම්භ කරද්දී ජනතාව අතර පැතිරී ගිය බිය සැබෑවක් වූ බව එයට මුහුණ දුන් පිරිස් අදද පවසයි. 
මේ ඒ පිළිබඳව අදහස් දැක්වූ, මේ වන විට ඉවත් කළ  ඉරණවිල ඇමරිකන් හඬ ආසන්නයේ පදිංචිව සිටින ඩබ්ලිව්. චන්ද්‍රා කාන්ති මහත්මිය

“අපි ඇමරිකන් හඬට දිගින් දිගටම විරෝධය මතු කළා. මේ සඳහා ඉරණවිල, අඹකදවිල, තොඩුවාව ගම්මානවල ජනතාව පක්ෂ භේදයකින් තොරව පාරට බැස්සේ තිබුණ  හානිදායක තත්ත්වය පිළිබඳව අපිව දැනුවත් කර තිබුණ නිසා. නමුත් අපේ හඬට කිසිම කෙනෙකු ඇහුම්කන් දුන්නේ නැහැ. ජනතාව මර්දනය කරලා ඇමරිකන් හඬ ඉදිකළා. ඒ මදිවට ඒ ප්‍රදේශය අධි ආරක්ෂක කලාපයක්  වගේ ජනතාවට තහනම් කළා. ඒ නිසා අපිට තවත් සැක වැඩි කළා. මේ  ඇමරිකන් හඬ නිසා ශ්වසන රෝග, අඩු බර දරු උපත්, ගබ්සා වීම් වැඩි වුණා. එයට හේතු ලෙස දැනගන්න හැකි   වුණේ කෙටි තරංග ගුවන් විදුලි සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයේ අධිබල කිරණ නිසා බවයි දැනගන්න තියෙන්නේ. කොහොමත් ඉරණවිල නිසා අපි අසරණ වුණා.'' යැයි පැවසුවාය.
ඉරණවිල සටනේදී මරණයට පත්වූ එස්.ඒ.ඩී බෙනඩික් (බෙනට්) මහතාගේ සොහොයුරා වන නිමල් ඇන්තනී මහතා අදහස් දක්වමින්,

“ඉරණවිලට තිබුණ විරෝධතාවයකදී තමයි පොලීසිය අපේ සහෝදරයාට වෙඩි තිබ්බේ. එදා හරියට යුද පිටියක් වගේ. අපිට පොලීසියත්, ඇමරිකන් හඬ  සල්ලිවලට අරන් හිටපු මැරයොත් සැලකුවේ තිරිසන් විදිහට. අඩුම තරමින් සහෝදරයාගේ මිනිය බලන්නත් හලාවත රෝහලට අපි ගියේ කැලෑ පාරවල් වලින්. පාරකවත් යන්න දුන්නෙ නෑ. ඒ තරමට අපි අසරණ කළා. අනික තමා ඇමරිකන් හඬට ගත්ත භූමියේ තිබුණ පරිසරය සම්පූර්ණයෙන් විනාශ කළා. අපි අපේ ගම්වල හිටියත් ඇමරිකන් හඬේ සිරකරුවන් වුණා'' යැයි පැවසීය.

අද වන විට ඇමරිකන් හඬ කෙටි තරංග සංප්‍රේෂණ මධ්‍යස්ථානයේ සියලු ඉදිකිරීම් ඇමරිකන් තානාපති කාර්යාලය මගින් ඉවත්කර තිබේ. ඒ අනුව එම භූමියේ බදු ගිවිසුම රජය මගින් අවසන් කර තිබේ.
ඇමරිකන් තානාපති කාර්යාලය පවසා ඇත්තේ මෙම ඉවත් කිරීමට හේතු වූයේ කෙටි තරංග සඳහා පවතින අඩු ඉල්ලුම මත තවදුරටත් පවත්වාගෙන යාම ගැටලුවක් බවයි. ඒ අනුව ගොඩනැගිලි සහ තවත් සුළු සම්පත් ප්‍රමාණයක් රජයට භාර දී ඇති බවද කියයි.
නමුත් ගැටලුව මිනිසුන්ට බරපතළ පීඩාවක් ගෙන දී එක් පුද්ගලයකු මරා දැමූ ඇමරිකන් හඬ නිසා තවමත් බොහෝ පිරිසක් පීඩා විඳින බවයි. නමුත් මේ වන විට ජනතාව බියට පත්ව ඇත්තේ රජය ඉදිරියේදී සංචාරක කලාපයක් ආරම්භ කිරීමට පවතින සුදානම නිසා තමන් නැවතත් අසරණ වේදැයි යන හේතුවෙනි.
මේ පිළිබඳව පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කම්ටුවේ සම සභාපති හෙක්ටර් අප්පුහාමි මහතා පවසා සිටියේ,
“ මේ වන විට මේ භූමිය රජයට අයිති නිසා එය ආර්ථික සංවර්ධන කටයුතු අමාත්‍යංශය යටතේ ඉදිරියේදී සංචාරක කර්මාන්තයක් ආරම්භ කරන්න සූදානමක් තිබෙනවා. එහිදී මාර්ග පුළුල් කිරිමේදී යම් ඉඩම් ප්‍රමාණයක් ගන්න සූදානමක් තිබුණත් එය ජනතාවට හානි වන ලෙස කරන්නේ නැහැ. ඒ පිළිබඳ කථා කරලා ඉහළ මිලකට ඒ ඉඩම් ගන්න කටයුතු කරනවා. ඉතාම සාධාරණ ලෙසයි මේ දේවල් කරන්නේ. මොකද සංවර්ධන කටයුතු වලදී ජනතාව පීඩාවට පත්කරන්න අපි සූදානම් නැහැ'' යනුවෙනි.

DSC00106 copy DSC00113 copy gdyrt tyutyuti
විස්තර හා චායාරූප හිරාන් ප්‍රියංකර ජයසිංහ. උපුටා ගැනීම අද පුවත් පතින් 
Share on Google Plus

About Lakshan Fernando

Lakshan Fernando is www.thoduwawa.lk's Media Team's Officeal Member

0 facebook--blogger:

Post a Comment

ඔබගේ අදහසට ස්තුතියි
Thoduwawa.com Media Team...