අඹකදවිල ත්‍රී රෝද රථයක් සහ ජීප් රථයක් ගැටී එක් අයෙක් මරුට


හලාවත - අඹකදවිල මාර්ගයේ ත්‍රී රෝද රථයක් සහ ජීප් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අඹකදවිල පදිංචි ත්‍රී රෝද රියදුරා මරුට 

ත්‍රී රෝද රථයක් සහ ජීප් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවී ඇති අනතුරකින් ත්‍රී රෝද රථයේ රියදුරු මිය ගොස් කාන්තාවක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලීසිය කියයි. 
පසුගිය 15 වැනිදා සවස 6.00 ට පමණ හලාවත - අඹකදවිල මාර්ගයේ පිහිටි නාවුක හමුදා කඳවුරට ආසන්නයේදී මෙම අනතුර සිදුවී ඇත.

අනතුරින් මිය ගොස් ඇත්තේ හලාවත - අඹකඳවිල පදිංචිකරුවෙකු වන  වර්ණකුලසූරිය ජනත් ප්‍රසන්න ප්‍රනාන්දු (අවු:33) නම් අයෙකි.ඔහු ත්‍රී රෝද රථයේ රියදුරු ලෙස කටයුතු කළ අය බව පොලීසිය කියයි. තුවාල ලබා ඇති හලාවත - අළුත්වත්ත පදිංචි බාර්බරා ප්‍රියංගා (අවු:48) යන අය හලාවත මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

අනතුරට පත්ව ඇති ත්‍රී රෝද රථය අඹකඳවිල දෙස සිට හලාවත දෙසට ගමන් කරමින් තිබී ඇත.ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් ගමන් කර ඇති ජීප් රථය එක් වරම ත්‍රී රෝද රථයේ ඉදිරිපස ගැටී ඇති බව පොලීසිය කියයි.අනතුරින් තුවාල ලබා සිටි ත්‍රී රෝද රථයේ රියදුරු සහ එහි ගමන් කළ කාන්තාව එම අවස්ථාවේදීම හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.බරපතල තත්ත්වයේ පසුවූ ත්‍රී රෝද රථ රියදුරා කොළඹ ජාතික රෝහලට මාරු කර ඇති අතර ඔහු එහිදී මිය ගොස් ඇත.

අනතුරට සම්බන්ධ ජීප් රථය පොලිස් බාරයට ගෙන ඇති අතර එහි රියදුරුව අත්අඩංගුවට ගෙන ඇත.ජීප් රථය පැදවූ රියදුරුගේ නොසැලකිල්ල මෙම අනතුරට හේතුව බව පොලීසිය කියයි.
හලාවත පොලීසියේ රථවාහන අංශය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

විස්තර ජූඩ් සමන්ත 
Share on Google Plus

About Lakshan Fernando

Lakshan Fernando is www.thoduwawa.lk's Media Team's Officeal Member

0 facebook--blogger:

Post a Comment

ඔබගේ අදහසට ස්තුතියි
Thoduwawa.com Media Team...