“ට්‍රෝලර් යාත්‍රාවකින් මාළු අල්ලන්න යනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි.ඒත් අපිට වෙන කරන්න රස්සාවක් නැහැ.ඒ නිසා දරු පවුල රැක ගන්න ඕනා නිසා තමයි මේ රස්සාවට යන්නේ.ඇත්තටම අපි හොරකමක් කළේ නැහැ.අපි ගියේ මාළු අල්ලන්න.එතකොට තමයි අපේ යාත්‍රාව මුහුදු සීමාව උල්ලංඝනය වෙලා කියලා ඉන්දියාවෙන් අත්අඩංගුවට ගත්තේ.එදා ඉදලා ඉතිං දරුවන්ගේ මුහුණ දකින්න ගෙදර එන්නේ කවද්ද කියන හීනය විතරයි අපිට තිබුනේ....”
යැයි ඉන්දීය අත්අඩංගුවේ පසුවී නිදහස ලබා පැමිණි හලාවත - ඉරණවිල පදිංචි ජුවන් ප්‍රනාන්දු (අවු:44) මහතා පැවසීය.
පසුගිය අප්‍රියෙල් මස 03 වැනිදා ඉන්දීය මුහුදු සීමාවේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් “කපිල පුතා 01”යාත්‍රාවේ ධීවරයින් 06 දෙනෙකු ගමන් කර ඇත.ඔවුන් හලාවත - ඉරණවිල,සහ ගල්මුරුවේ පදිංචිකරුවන්ය.
එසේ අත්අඩංගුවට පත් වූයේ ගල්මුරුවේ පදංචි සංජීව ෆෝන්සේකා (අවු:37),හලාවත ඉරණවිල පදිංචිකරුවන් වන ජුවන් ප්‍රනාන්දු (අවු:44), එරංග වඩුගෙදර (අවු:22)මුතුමණි නුවන් සිල්වා (අවු:22), ඩබ්ලිව්.ක්වින්ටස් ජුඩ් ප්‍රනාන්දු (අවු:49) සහ ප්‍රියංකර පැතුම් (අවු:27) නම් වූ ධීවරයින්ය.
ඉන්දීය ආරක්ෂකයින්ගේ අත්අඩංගුවේ පසුවී මාස 1 ½ ක පමණ කාලයක් ගෙවූ මෙම ධීවරයින් පිරිස පසුගියදා නිදහස ලබා මෙරටට පැමිණියේය.එම ධීවරයින් ඉන්දීය ආරක්ෂකයින් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව දැන ගත් අපි එයද වාර්තා කළෙමු.නිදහස ලබා මෙරටට පැමිණි ඔවුන් අත්අඩංගුවේ සිටි කාලය කෙසේ ගෙවා දැමුවේද යන්න සොයා බැලීම සදහා ඔවුන් සොයා ගියෙමු.මේ ඔවුන් අපට කී කථාවයි.
ඉරණවිල පදිංචි ජුවන් ප්‍රනාන්දු මහතා සිව් දරු පියෙකි.එක් දරුවෙකු විවාහ වී සිටින අතර අනෙක් දරුවන් ගෙන් දෙදෙනෙකු තවමත් අධ්‍යාපනය ලබමින් සිටී.
“කපිල පුතා 01 යාත්‍රාවෙන් අපි මුහුදු යන්න පිටත් වුනේ පසුගිය මාර්තු මාසේ 12 වැනිදා.අපි මාළු අල්ලගෙන යන කොට මට නම් තේරුණා වැඩේ වැරදුනා කියලා.මොකද අපි සැටලයිට් එක බලා ගෙන තමයි යන්නේ.එතකොට මම දැන ගත්තා අපි ඉන්දීය සීමාවට ඇතුළු වෙලා කියලා.වැඩි වෙලාවක් ගියේ නැහැ ඉන්දියවේ නාවුක හමුදා යාත්‍රාවක් ඇවිත් අපිව අල්ලා ගත්තා.ඒ වෙලාවේ නම් අපි එක්කෙනාට පරවල් දෙක ගානේ ගැහුවා.ඊට පස්සේ අප්‍රියෙල් 05 වැනිදා අපිව ඉන්දියාවේ චෙන්නායි බන්ධනාගාරයට බාර දුන්නා.අපි 06 දෙනා ඉතිං ගෙවල් ගැන කථා කර කර හිටියා.අපිට බන්ධනාගාරයේදී කන්න දුන්නේ වතුරයි බතුයි විතරයි.බඩ ගින්නට ඒ කෑම කෑවා මිසක වෙන නම් කරන්න දෙයක් තිබුනේ නැහැ.හරියට නා ගන්න පිරිසිදු වෙන්නවත් ඉඩක් දුන්නේ නැහැ.අපි නම් හිතුවේ මාස කීපයක් මේ අපා දුක විදින්න අපිට සිද්ධ වෙයි කියලයි.
කොහොම හරි අපිව චෙන්නායි බන්ධනාගාරයේ ඉදලා පසුගිය 17 වැනිදා ඉන්දියාවේ මහා බෝධි පන්සලට බාර දුන්නා.ඒ පන්සලේ ඉන්න හාමුදුරුවෝ හරිම හොදයි.අපිට වතුර ටිකක් නා ගන්න දුන්නා. උන්වහන්සේ අපිට හොදට කටට රසට කෑම ටිකක් එහෙම දුන්නට පස්සේ තමයි ඇගට පණක් ලැබුනේ.ඒ වෙන කොට හාමුදුරුවෝ කිව්වා අපිව නිදහස් කරලා තියෙන්නේ.අපිව ඇවිත් අරගෙන යන කල් පරිස්සමට ඉන්න කියලා.එතන ඉදලා ඉදිං දරුවෝ ටික දකිනකල් ඉවසිල්ලක් නැතුව තමයි හිටියේ.
තවත් කාරණයක් කියන්න තියනවා.අපි කතෝලිකයෝ.පන්සලේ හිටපු දවස් වල හාමුදුරුවෝ නිකමටවත් අපෙන් ආගමක් ගැන ඇහුවේනැහැ.උන්වහන්සේ අපිට සැළකුවේ ලාංකිකයෝ හැටියට විතරයි.ඒ නිසා මොන ආගමක් අපි ඇදහැවුවත් මොන භාෂාවක් කථා කලත් කරදරයකදී ලාංකිකයෝ හැටියයට හිතන්න ඕනේ කියලා මට පන්සලේ හිටපු දවස් කීපයේදි හිතුණා.
තව ටික දවසක් මෙහෙම ඉදලා ඉතිං ආපහු රස්සාවට යන්න ඕනේ. එහෙම නැතුව ඉතිං අපිට වෙන කරන්න දන්න රස්සාවක් නැහැනේ. අත්තටම මම නම් කියන්නේ අපි දැන හෝ නොදැන දේශ සීමා පැනලා මාළු අල්ලන්න යන්න හොද නැහැ.මොකද අපිට අවසරයක් නැතිව වෙනත් රටකට යන්න බැහැනේ.ඒ වාගෙම තමයි මුහුදෙත් සීමාව පනින්න හොද නැහැ.
අනිත් කාරණය තමයි අපි යන්නේ මාළු අල්ලන්න.මුදලාලි කෙනෙක් ළග තමයි අපි වැඩ කරන්නේ.අපි වැඩියෙන් මාළු අල්ලගෙන ආවොත් තමයි මුදලාලිට වැඩි ලාභයක් ලැබෙන්නේ.එහෙම නැතිව අපි හිස් අතින් ආවොත් මොකද වෙන්නේ.අපි දෙගොල්ලම බඩ ගින්නේ.ඒ නිසා මේ වාගේ දේවල් සිද්ධ වුනහම මුදලාලිට වටිනවා ටිකක් ඒ ගැන හොයලා බලන්න.නමුත් අපිට නම් එහෙම දෙයක් සිද්ධ වුනේ නැහැ. කොහොම හරි කාට හරි පින් සිද්ධ වෙන්න අපි ඉක්මට ගෙවල් වලට ආවා.ඒක විතරයි සතුටකට තියෙන්නේ..... ජුවන් ප්‍රනාන්දු මහතා තම සිඟිති දියණිය වන ප්‍රසාදිව තුරුළු කරගෙන ගියා සිටියේය.
ඉන්දීය අත්අඩංගුවේ පසුවූ තවත් ධීවරයෙකු වූ ප්‍රියංකර පැතුම්(අවු:27) ද අපට හමු විය.
“චෙන්නායි හිර ගෙදර ඉන්න කොට මට නම් නොයෙක් දේවල් හිතුනා.චූටි දුව්ව හැම තිස්සේම මතක් වුණා.මම හිතන්නේ දේශ සීමාව උල්ලංඝනය කරලා කියලා ඉන්දියාවෙන් අල්ල ගත්ත අපේ රටේ ධීවරයින්ගෙන් ඉක්මනටම නිදහස ලැබුනේ අපිට කියලයි.අපිව නිදහස් කර ගන්න මහන්සි වුණ හැම කෙනෙකුටම අපි ස්තූති කරන්න ඕනේ.මොකද අපිව අත්අඩංගුවට ගත්තා කියලා දැන ගත්ත දවසේ ඉදලම ඒ වෙනුවෙන් මහන්සි වෙච්ච ගොඩාක් අය ඉන්නවා.”
ප්‍රියංකර පැතුම්ගේ බිරිඳ වන ආර්.ඒ.මනීෂා මහත්මිය මෙසේ කියා සිටියාය.
“අපේ කට්ටයව ඉන්දියාවෙන් අල්ලා ගත්තා කියලා දැන ගත්ත දවසේ ඉදලා අපි විවිධ තැන් වලට ගියා.ධීවර ඇමති තුමා හම්භ වෙලා විස්තරය කිව්වා.ඒ වාගේම රතු කුරුස සමාජයටත් අපි මේ ගැන දැණුම් දුන්නා.මේ හැම කෙනෙක්ම මැදිහත් වෙලා දැන් මහත්තයා ගෙදර ඇවිත් ඉන්නවා.ඒ වාගෙම් මාධ්‍ය ආයත වලින් මේ වෙලාවේ අපිට කරපු උදව් වලටත් මම ස්තූති කරනවා.මට නම් කියලා නිම කරන්න බැරි සතුටක් දැන් තියෙන්නේ......”
ඇය කියා ගෙන ගියාය.
ඉන්දීය අත්අඩංගුවේ සිට නිදහස ලබා පැමිණි නුවන් සිල්වා (22) මහතාද අපට හමු විය.ඔහු මෙසේ පැවසීය.
“සාමාන්‍යයෙන් අපි මුහුදු යන්න කලින් බෝට්ටුවේ මුදලාලි රුපියල් 4000 ක් විතර අපිට දෙනවා.ඒ සල්ලි ගෙදර ඉන්න අයට දීලා තමයි අපි පිටත් වෙන්නේ.මුහුදෙදී මොකක් හරි කරදරයක් වුනොත් අපි ආපසු එනතුරු බෝට්ටුවේ මුදලාලි අපේ ගෙවල් වල ඉන්න අය ගැන බලන්න ඕනේ.ඒක තමයි සිරිත.ඒත් අපිට එහෙම වුනේ නැහැ.අපි ඉන්දියාවේ ඉන්න කොට බෝට්ටුවේ මුදලාලිගේ ගෝලයෙක් ආවා අපිව බලන්න කියලා.අඩුම ගානේ ආපහු යන කොට යනවා කියලවත් ගියේ නැහැ.මම නම් ඔය මුදලාලි ගාව ආය වැඩට යන්නේ නැහැ. මොකද අපි කරදරයක වැටුනහම බලා ගන්න බැරි මුදලාලිගෙන් අපිට වැඩක් නැහැනේ.....”
එරංග වඩුගෙදර (අවු:22) ද ඉන්දියාවේ අත්අඩංගුවේ සිට නිදහස ලබා පැමිණි අයෙකි.ඔහුද තමන් මුහුණ දුන් අත් දැකීම අප සමග කියා සිටියේය.
අපට හමුවූ සියළුම ධීවරයින් කියා සිටි කරුණක් වන්නේ තමන් කරදරයකට පත්වූ විට ඒ වෙනුවෙන් ඉදිරිපත් වන පිරිස අඩු බවය.නමුත් වැඩි කාලයක් ඉන්දියාවේ බන්ධනාගාර ගත වී නොසිට නැවතත් මව්බිමට පැමිණීමට ලැබීම වාසනාවක් බවත් ඔවුන් කියා සිටියේය.
ජුවන් ප්‍රනාන්දු තම දියණිය ප්‍රසාදිගේ සුරතල් බලමින්.
පියංකර පැතුම් දියණිය මිෂෙල් සමග.
නුවන් සිල්වා.
එරංග වඩුගෙදර.
Video
“කපිල පුතා 01”යාත්‍රාවේ ධීවරයින් 06 දෙනෙකු ලංකාවට එයි
“ට්‍රෝලර් යාත්‍රාවකින් මාළු අල්ලන්න යනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි.ඒත් අපිට වෙන කරන්න රස්සාවක් නැහැ.ඒ නිසා දරු පවුල රැක ගන්න ඕනා නිසා තමයි මේ රස්සාවට යන්නේ.ඇත්තටම අපි හොරකමක් කළේ නැහැ.අපි ගියේ මාළු අල්ලන්න.එතකොට තමයි අපේ යාත්‍රාව මුහුදු සීමාව උල්ලංඝනය වෙලා කියලා ඉන්දියාවෙන් අත්අඩංගුවට ගත්තේ.එදා ඉදලා ඉතිං දරුවන්ගේ මුහුණ දකින්න ගෙදර එන්නේ කවද්ද කියන හීනය විතරයි අපිට තිබුනේ....”Read More >> www.thoduwawa.com
Posted by අපේ Thoduwawa on Friday, May 29, 2015
විස්තර හා චායාරුප, වීඩියෝ - ජූඩ් සමන්ත.
0 facebook--blogger:
Post a Comment
ඔබගේ අදහසට ස්තුතියි
Thoduwawa.com Media Team...