දැඩි සුළග සහ මුහුද රළු වීම හේතුවෙන් හලාවත - කුරුසපාඩුව ප්‍රදේශයේ මුහුද ආසන්නයේ පිහිටි නිවාස 03 ක් සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති අතර තවත් නිවාස 06 ක් පමණ මුහුදට බිලි වීමේ අවදානමකට පත්ව ඇත.
පසුගිය දින කීපය තුළ වරින් වර මුහුද රළු වී තම නිවාස වලට හානි සිදු වන්නට පටන් ගත් බවත්,17 වැනිදා සවස වන විට නිවාස 03 සම්පූර්ණයෙක්ම මුහුදට ගසා ගෙන ගිය බව එම නිවාස වල පදිංචිවී සිටි පිරිස් සදහන් කළේය.
මුහුදට බිලිවූ නිවාස වල සිටි අයවළුන් ඒ ආසන්නයේ පිහිටි වෙනත් නිවාස වල තාවලික පදිංචිවට ගොස් ඇත.
මෙම නිවාස ආසන්නයේ පිහිටා ඇති හලාවත සිට හලාවත මෝය දක්වා වන මාර්ගයද මේ වන විට මුහුදට බිලි වෙමින් පවතී.එක් ස්ථානයකදී මාර්ගයේ කොටසක් සම්පුර්ණයෙන්ම මුහුදට ගසා ගෙන යාම හේතුවෙන් වාහන ගමනා ගමනයටද බාධා එල්ල වී ඇත.මුහුදට ගසා ගෙන යන මාර්ගය ආරක්ෂා කිරීම සදහා හලාවත නගර සභාව විසින් ලබා දී ඇති කළු ගල් ඇතිරීම ඒ ආසන්නයේ පදිංචිකරුවන් විසින්ම සිදු කරන බවක් දක්නට ඇත.
මුහුද ආසන්නයේ පදිංචිවී සිටින බහුතරයක් ධීවරයින් අනවසරයෙන් පදිංචිවී සිටීම හේතුවෙන් ඔවුන්ට සහන සැළසීම ගැටළුවක් වී ඇති බව හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරියෙකු පැවසීය.
හලාවත මුහුදු වෙරළ තුළ ස්වාභාවික ගල් වැටියක් ඇති බැවින් මුහුදු ඛාදනයක් සිදු නොවන බව බහුතරයකගේ විශ්වාසය වී තිබුණි.නමුත් එම ස්වාභාවික කළු ගල් තලාවට ඉහලින් ඇති වැල්ල සම්පූර්ණයෙන්ම මුහුදට සේදී යාම නිසා මෙම තත්ත්වය උදාවී ඇති බව ධීවරයින් කියා සිටී.
හලාවත මුහුදු වෙරළ ආරක්ෂා කිරීම සදහා කළු ගල් වැටියක් යෙදීමට යෝජනා වී ඇතත් මේ වන තුරු එම ගල් වැටිය නොයෙදීම මෙම තත්ත්වයට හේතුව බව ධීවරයින්ගේ මතය වී ඇත.
වාරකන් සමග දැන් ආරම්භ වී ඇති බැවින් ඉදිරියට මුහුදේ රළු ස්වභාවය තවත් වැඩි විය හැකි බව පවසන ධීවරයින් තමන් මුහුණ පා ඇති තත්ත්වය සම්බන්ධයෙන් අවධානයක් යොමු කරන ලෙස වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටී.
0 facebook--blogger:
Post a Comment
ඔබගේ අදහසට ස්තුතියි
Thoduwawa.com Media Team...