News By *Jude Samantha
හලාවත - ඉරණවිල පිහිටි මහින්ද රාජපක්ෂ දියවර ගම්මානයේ ජලය කලපුවට බැස යාම සදහා ඉදි කර ඇති ඇල මාර්ගය හරස් කර ව්‍යාපාරිකයෙකු විසින් ඉස්සන් පොකුණක් ඉදිකිරීම නිසා ඉදිරි වැසි කාලයේදී තම ගම්මානය ජලයෙන් යටවීමේ අවදානමක් ඇති බව ගම්වාසීන් කියා සිටිති.
1998 අගෝස්තු මස 14 වැනි දින එවකට ධීවර ඇමතිවරයාව සිටි වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම දියවර ගම්මානය ජනතා අයිතයට පත් කර ඇත.වර්තමානයේ මෙම ගම්මානයේ පවුල් 120 ක් වාසය කරති.
මහින්ද රාජපක්ෂ දියවර ගම්මානයට නැගෙනහිරින් ඇත්තේ හලාවත කලපුවය.වැසි කාලයේදී මෙම ගම්මානයට එකතු වන ජලය අපහසුවකින් තොරව කලපුවට බැස යාම සදහා ඇල මාර්ගයක්ද ඉදි කර ඇත.නමුත් එම ඇල මාර්ගය වසා දමමින් ව්‍යාපාරිකයෙකු විසින් මේ වන විට ඉස්සන් පොකුණු කීපයක් ඉදි කර ඇති බව ගම්මු පවසති.
කලපු රක්ෂිතය වන භූමියක අනවසරයෙන් මෙම ව්‍යාපාරිකයා මුලින්ම ඉස්සන් ව්‍යාපාරය ආරම්භ කර ක්‍රමයෙන් තම ව්‍යාපාරය ගම තුළට රැගෙන එන්නට උත්සහ දරමින් සිටින බව එහි ගිය අපට දක්නට ලැබුණි.
කලපු රක්ෂිතය තුළ ඇති කඩොලාන කපා විනාශ කිරීම සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම ව්‍යාපාරිකයාට එරෙහිව නඩු පවරා ඇති බවත්,එම කලපු රක්ෂිතයෙන් ඉවත් වන ලෙස අධිකරණය ව්‍යාපාරිකයාට නියෝග කර ඇති නමුත් ඔහු අධිකරණ නියෝග පවා උල්ලංඝණය කරමින් තවමත් නීති විරෝධී ලෙස එම ඉඩමේ රැදී සිටිමින් ව්‍යාපාරික කටයුතු සිදු කරණ බවද ගම්මු කියති.
ගමේ එකතු වන ජලය කලපුවට බැස යාම සදහා සකස් කර ඇති ඇල මාර්ගය හරස් කර තිබීම නිසා ඉදිරි වැසි කාලයේදී තම ගම්මානයේ නිවාස ජලයෙන් යටවීම ස්ථීර බව ගම්මු කියති.ඊට හේතුව වී ඇත්තේ ඇල මාර්ගය වසා දමන්නට පෙරද තම ගමේ ඇතැම් නිවාස ජලයෙන් යට වී ගියේ නම් ඇල මාර්ගය වසා දැමීමෙන් පසුව සිදුවිය හැකි දේ සම්බන්ධයෙන්ද සිහි පත් කරමිනි.
තම ගම හරහා ඇති ඇල මාර්ගය වසා දමමින් ඉස්සන් පොකුණක් ඉදි කිරීම සදහා ව්‍යාපාරිකයාට ඇතැම් දේශපාලන සහ නිලධාරී සහායද ලැබී ඇති බව ගම්වාසීන් චෝදනා කරති.
ඡායාරූප -
0 facebook--blogger:
Post a Comment
ඔබගේ අදහසට ස්තුතියි
Thoduwawa.com Media Team...